ශ්‍රී ලංකා මහ බැංකුවට නව සාමාජිකයින්

ජූනි 25, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන් ලෙස ආචාර්ය රානි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මුදල් මණ්ඩලයේ, පුරප්පාඩු සදහා එම නම් යෝජනා කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අසූවන රැස්වීම කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී, ඊයේ පස්වරුවේ පැවැත්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,බිමල් රත්නායක,තලතා අතුකොරළ,ජාවෙඩ් යුසුෆ්, මහාචාර්ය නාගානන්ද සෙල්වකුමාරන් යන මහත්ම මහත්මීන් ඊට සහභාගී විය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් හා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල යන මහත්වරුන් මෙහි සෙසු සාමාජිකයන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකව සිටි ආචාර්ය ජයන්ත ධනපාල මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳව ව්‍යවස්ථා සභාව දැනුවත් කෙරුණු අතර, ඔහුගේ සේවය මෙහිදී ඇගයීමට ලක් කෙරිණ. එම පුරප්පාඩුව පිරවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනූව සිදු කිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හුල් මහතා මාධ්‍යයට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී ඇති ලිපියක් හා ඒ සම්බන්ධ මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූනි 2020 12:34

    Latest News