ඥානසාර හිමිට ජනපති සමාව දුන් තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම කල්යයි

ජූනි 26, 2020

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම ඔක්තෝබර් මස 19 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

    එම පෙත්සම් අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී ඥානසාර හිමියන්ට සිරදඬුවම් ලබා දුන් විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු ලෙස ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා කටයුතු කළ හෙයින් මෙම පෙත්සම සලකා බැලීම වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි.

    ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 19 වැනිදා කැඳවන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විධිමත් නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙත්සම ඉදිරිපත් කළ අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය චෝදනා කරයි.

    අධිකරණයට අපහාස කිරීම වැනි බරපතල චෝදනාවකට වරදකරු කර වසර 06 ක සිර දඬුවමක් ලබා සිටි විත්තිකරුවෙකුට සමාව ප්‍රදානය කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු වන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ අනුව ඥානසාර හිමියන්ට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

    එමෙන්ම ඥානසාර හිමියන්ට ප්‍රදානය කර තිබෙන පොදු සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

    Latest News