රවී ඇතුළු පිරිස ගොනු කළ පෙත්සම සලකා බැලීම කල්යයි

ජූනි 26, 2020

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් පිරිස වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලය තිබූ බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තු බලරහිත කරන නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් පිරිසක් ගොනුකර තිබෙන රිට් පෙත්සම් අද (26) සළකා බැලීම සඳහා යළි කැදවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.

    නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රවී කරුණානායක ඇතුළු සැකකරුවන්ට එරෙහිව පොලිසිය විසින් පොදු දේපොළ පනතේ 05 වන වගන්තිය යටතේ විමර්ශන සිදුකර අධිකරණය වෙත කරුණු වාර්තා කළ බව පැවසීය.

    එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව රවී කරුණානායක ඇතුළු සැකකරුවන් පිරිස වරෙන්තුවක් නොමැතිව අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වෙත බලය පැවරී තිබුණු බව ඔහු පෙන්වා දුන්නා.

    Latest News