කන්දකාඩු; කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළට (වීඩියෝ)

ජූලි 11, 2020
  • කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ ඒ ආශ්‍රිතයන්ගෙන් හඳුනාගත් කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් තිබේ.

    එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයින් 5 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට අද හදුනා ගැණින. එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් පැමිණි 4 දෙනෙකුට සහ කුවේට් සිට පැමිණි අයෙකුට ද රෝගය වැළඳී ඇති බවට අද තහවුරු විය.

    කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ කොවිඩ් 19 රෝගීන් 283 දෙනෙකු හඳුනා ගැණින. ඉකුත් 9 වැනිදා ද 57 දෙනෙකු වාර්තා විය. එම මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු රෝගියෙකු සමීපව ඇසුරු කළ තිදෙනෙකුට ද කොවිඩ් 19 වැළඳී ඇති බවට ඊයේ තහවුරු විය. ඒ අනුව, කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවන සමස්ත කොවිඩ්ඩ් 19 රෝගීන් සංඛ්‍යාව 340ක්.

    කොවිඩ් 10 රෝගය වැළඳුණු බවට පසුගියදා හඳුනා ගැණුනු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන මාරවිල ප්‍රදේශයේ උපදේශිකාවගේ පවුලේ සාමාජිකයන් සහ සමීප ආශ්‍රිතයන් මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ රැඳවියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව තහවුරු වූයේ පසුගිය 7 වැනිදා. ඔහුගේ ආශ්‍රිතයන් බවට සැක කෙරෙන 312 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කළ ද කිසිවෙකුට රෝගය වැළඳී නොමැත. පසුව කළ පීසීආර් පරීක්‍ෂණවලදී තවත් රැඳවියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු විය.

    ඉකුත් පළමුවැනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවාවකට සහභාගි වූ අනුරාධපුර තිසාවැව යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව වාර්තා විය. ඔහු රාජාංගනය යාය 5 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නිලධාරියා යාය 3 ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට ද සහභාගි වී තිබේ.

    එම ප්‍ර දේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් සමීපව ඇසුරු කළ 40 දෙනෙකුගේ පීසීආර් පරීක්‍ෂණ ද අද සිදු කෙරිණ. ඒ රාජාංගනය 5 කණුව පොළ භූමියේදී.

    මෙරට තුල අද වනවිට සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්‍ෂණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 20,730ක්. ඊයේ ද පීසීආර් 1749ක් සිදුකර තිබේ.

    මේ අතර, එංගලන්තයේ, ලන්ඩන් නුවර රැඳී සිටි 236ක් අද උදේ මෙරටට පැමිණියේය. ඔවුන් සියලු දෙනාම ගුවන් තොටුපොළේදීම පී සි ආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ.

    ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි 229ක් ද අද මෙරටට පැමිණියේය. ඔවුන්ද ගුවන් තොටුපොළේදීම පී සි ආර් පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනයට යොමු කෙරිණ.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 12:22

    Latest News