කේරල ගංජා තොගයක් නාවික හමුදා බාරයට

ජූලි 12, 2020

    වෙත්තලකේනි, උඩුත්තුරෙයි වෙරළ තීරයේ දී කිලෝ ග්‍රෑම් 52කට අධික කේරල ගංජා තොගයක් ඊයේ නාවික හමුදා බාරයට ගැණින.

    ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 78කට අධික බව නාවික හමුදාව පවසයි. මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනයට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරයි. ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික මුර යාත්‍රා, උඩුත්තුරෙයි ඉදිරි මුහුදු ප්‍රදේශයේ විශේෂ මුර සංචාරයක් සිදු කළේය. එම මෙහෙයුමේ දී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් වෙම්බඩි වෙරළ තීරයේ දමා පලායන ආකාරය නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කළ සෝදිසියේදී මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැණින.

    ගෝනි කවර දෙකක් තුළ පාර්සල් 13ක මේවා ඇසුරුම් කර තිබේ. ඒවායේ බර කිලෝ 52යි ග්‍රෑම් 680ක්. මෙම වසර තුළ නාවික හමුදාව මෙහෙයුම් මගින් කේරල ගංජා ටොන් තුනකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය සහ අත්අඩංගුවට ගත් ඩිංගි යාත්‍රාව හා අනෙකුත් උපකරණ ඉදිරි විමර්ශන සඳහා යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත බාරදී තිබේ.

    Latest News