කන්දකාඩු ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් රෝගීන් 392 දක්වා ඉහළ ගොස්

ජූලි 12, 2020

    කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හා ඒ ආශ්‍රිතයන්ගෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව 392 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ හඳුනාගත් රෝගීන් 52කද එම පිරිසට අයත්.

    කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඉකුත් 09 වැනිදා රෝගීන් 57 දෙනෙකු වාර්තා විය. තවත් 283 දෙනෙකු වාර්තා වුණේ, ඉකුත් 08 වැනිදා. ඊයේ දිනයේ එම මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 47ක්. ඒ අනුව, එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් හඳුනා ගැනුණු සමස්ත කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව 380ක්.

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන සේවාවකට සහභාගි වූ රාජාංගනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පසුගියදා වාර්තා විය. ඔහුගේ දරුවන් දෙදෙනාට ද කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බව, තහවුරු වී තිබේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයේ පසුවන බව යුද හමුදාව පවසයි. තවත් පිරිසකගේ පීසීආර් පරීක්‍ෂණ ද සිදු කෙරිණ. අද තවත් පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතයි.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු නාවික හමුදා සාමාජිකයන් අතරින් 895 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 98.78ක්. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 11 දෙනෙකු පමණි. ප්‍රතිශතයක් ලෙස එය 1.21ක්.

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1980 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා තිබේ. එම ප්‍රතිශතය 78.85ක්. තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 520ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය 20.78ක්.

    වවුනියාව, පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් සිය නිරෝධායන කාලසීමාව අදින් අවසන් කළේය. එම පිරිසට 32ක් අයත්. ඔවුන් නිරෝධායනය කාලසීමාවෙන් පසු පීසීආර් පරීක්‍ෂණ සිදුකර මුදාහැර තිබේ.

    Latest News