රජයේ සියළු මුද්‍රණ කටයුතු ඉදිරියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

අගෝ 25, 2020

    විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව මූලික පියවර ලෙස විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය පහසුකම් මෙන්ම වැඩපිළිවෙල සකස් කළ යුතු බව අමාත්‍යවරයා පැවසීය.

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් ජනමාධය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද දින (25) පැවැත් රැස්වීමකදී මේ බව පැවසීය.

    මේ වනවිට මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටීකර් ආදිය රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කෙරෙන අතර ආරක්ෂිත මුද්‍රණ කටයුතු ද ඉන් සිදු කෙරේ.

    අමාත්‍යංශ, රජයේ ආයතන, දෙපාර්තමේන්තු ආදියෙහි මුද්‍රණ කටයුතු වලින් 50%ක හෝ ප්‍රමාණයක් මෙන්ම සියලු ආරක්ෂිත මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණ දෙපාරත්මේන්තුව මගින් සිදුවිය යුතු බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් මෙන්ම අවකාශය සොයාබලන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    නිසි කාල රාමුවක් තුළ නිවැරදි ඉලක්කයන් කරා යාමෙන් ආයතනය ගොඩනැංවිය හැකි බව ද එසේ නොමැතිව ප්‍රායෝගික නොවන සැළසුම් මගින් ආයතන ගොඩනැංවිය නොහැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    1989 සිට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට රජයේ ආයතන වලින් අයවිය යුතු හිග ආදායම රුපියල් මිලියන 500ට වඩා වැඩි අගයක් ගන්නා බව, මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නා.

    එවැනි තත්ත්වයන් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙස ද අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    Latest News