හැමිල්ටන් ඇළ නඩත්තු නොකිරීමෙන් ප්‍රදේශවාසීන්ට පීඩා

සැප් 13, 2020

    වසර ගණනාවක සිට හැමිල්ටන් ඇලේ නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන්, ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

    අධික වර්ෂා සහිත දිනවලදී ඇළ පිටාර ගැලීමෙන් ගංවතුර තත්වයක් ඇති වන බව එම ඒකකය සඳහන් කළේය. පසුගිය දින කිහිපයේ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටවිය. වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ, නාත්තන්ඩිය නගරයට ආසන්නව ඇති ප්‍රදේශවලටයි.

    නාත්තන්ඩිය-මීගමුව ප්‍රධාන මාර්ගයේ හා නාත්තන්ඩිය-කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා එල්ලවිය. මේ වනවිටත් නිවාස කිහිපයක් ජලයෙන්යටවී තිබේ. පවතින තත්වය සැලකිල්ලට ගනිමින් නාත්තන්ඩිය තුම්මෝදර ප්‍රදේශයේ පාරු ඇල හරහා ඉදිකර තිබෙන ලුණු බැම්මේ දොරටු විවෘත කිරීමට පියවර ගැණින.

    එම දොරටු වසර 30කට අධික කාලයක් වසා දමා තිබිණ. නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යොදා එය විවෘත කිරීමටයි, පියවර ගනු ලැබුවේ. මෙම බැම්ම ඉදිකොට ඇත්තේ, හැමිල්ටන් ඇලට ලවණ මිශ්‍ර ජලය මුහුදෙන් එක්වීම වැළැක්වීමටයි.

    30 වසරකට අධිකකාලයක සිට ලුණු බැම්මේ දොරටු විවෘත නොකිරීම හේතුවෙන් ඇලේ පාවී ආ අපද්‍රව්‍ය අවහිර වීම නිසා ජලය නිසි පරිදි ගලා ගොස් තිබුණේ නැහැ. හැමිල්ටන් ඇළ කඩිනමින් නඩත්තු කළ යුතු බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් ඉංජිනේරු කමල් බන්දුල විජේරත්න මහතා පවසයි. ඇලෙහි ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සෘජුව වගකිව යුතු ආයතනයක් නොමැති බව වාර්තාවේ.

    Latest News