රවිරාජ්ගේ බිරිඳගේ ප්‍රතිශෝධන පෙත්සම යළි විභාගයට

ජන 10, 2019

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එම මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබිණ. එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ විත්තිකරුවකු වන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බවත් ඔහුට මේ දක්වා නොතිසි භාර දීමට නොහැකි වී ඇති බවත් කියා සිටියේය. ඒ අනුව අදාළ විත්තිකරුට නොතිසි භාරදීම සඳහා කල් ලබාදෙන මෙන් ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

    ඒ අනුව අදාළ පෙත්සම ජනවාරි මස 30 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය එදිනට පෙර අදාළ විත්තිකරුට නොතිසි භාරදෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය. රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැණි බවයි.

    එබැවින් අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News