අල්ලස් ගත් රේගුවේ 4ක් 25 යළි අධිකරණයට

ජන 10, 2019

    රුපියල් මිලියන 125 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු රේගු අධිකාරිවරුන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුව ජනවාරි මස 25 වන දා විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.

    මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින උපාලි ගුණරත්න, වසන්ත විමලවීර, උපාලි වික්‍රමසිංහ සහ එස්.පී.ජිනදාස යන හිටපු රේගු අධිකාරිවරු හතර දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    මෙහිදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කර සිටියේ අදාළ නඩුව ලබන 25දා විභාගයට ගන්නා බවයි.

    2015 වසරේ ජුනි මස 26 වනදා කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ ලංකා ගමනාගමන මණ්ඩලයට මෝටර් රථ අමතර කොටස් සපයනු ලබන ව්‍යාපාරිකයෙකු ආනයනය කළ රුපියල් මිලියන 1300 ක් පමණ වටිනා මෝටර් රථ අමතර කොටස් බදු සහන ලබා දී මුදා හැරීම සඳහා රුපියල් මිලියන 125ක අල්ලසක් ඉල්ලා එම මුදල ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම අදාළ රේගු අධිකාරිවරු හතර දෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

     

    Latest News