මිලේනියම් සිටි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17

සැප් 25, 2020

    මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබේ.

    2002 වසරේ ජනවාරි මස 02 වන දා අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි බුද්ධි අංශ සාමාජිකයින් සහ අවි ආයුධ අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීම සහ රටේ ස්වෛරීභාවයට හානි සිදුකිරීම යනාදී චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

    නඩුව අද (25) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඇප මත මුදාහරිනු ලැබ සිටින එහි විත්තිකරු වන හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතා අධිකරණය හමුවේ පෙනීසිටියේය.

    එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ, මෙම නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 17 වනදා යළි කැඳවන බවය.

    එදින ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් සාක්ෂි විමසීමට නියමිතය.

    මෙම නඩුව මුලින්ම මහනුවර මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණ ද පසුව නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එහි විභාගය මේ වනවිට කොළඹ මහාධිකරණය වෙත මාරුකර තිබේ.

    Latest News