රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි හිමියන්ගේ මෙහෙවර අනගිභවනීයයි - අගමැති

නොවැ 22, 2020

    මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිගෞරවාර්හ, නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශෝක යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඊයේ (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    එම ශෝක යෝජනාව මෙසේය,

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත, අතිගෞරවාර්හ නාපාන පේමසිරි අභිධාන මහා ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ බලවත් සංවේගයෙනි.

    කිරිබණ්ඩා නිලමේතුමා සහ බණ්ඩාර මැණිකේ දම්පතීන්ට දාව, ටිකිරි බණ්ඩාර යන ගිහි නමින් උපත ලද උන්වහන්සේ අපවත් වී වදාළ අතිපූජ්‍ය තෙරිපැහැ සිරී සීලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යයත්වයෙන් 1933 වසරේ දී නාපාන පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් විය.

    1943 දී කටුගස්තොට පිඟාඔය සීමා මාලකයේදී උපසම්පදාවට පත් වූ උන්වහන්සේ සුදුසුකම් මනා ලෙස සපුරා රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ සේක. පරිවේනාචාර්යවරයෙකු මෙන්ම පරිවේනාධිපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ උන්වහන්සේ හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ඇතුළු වෙහෙර විහාර රැසක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්හ.

    මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධීකාරී, අධිකරණ සංඝ නායක ඇතුළු ධූර රැසක් දැරූ උන්වහන්සේ 2012 වසරේ සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවිය හෙබවූහ. ශාසනසෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, පරියත්ති විශාරද, විනයාචාර්ය, ත්‍රිපිටක චක්‍රවර්ති, වැනි ශාසනික නාමෝපාධිවලින් පිදුම් ලද උන්වහන්සේගේ ශාසනික සේවයට ගරු කිරීමක් වශයෙන් මියන්මාර රජය විසින් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද පුදනු ලැබීය.

    Latest News