“ගමේ ප්‍රශ්න සියැසින් දැක අවශ්‍යතා සපුරාලීම අපේ රජයේ ප්‍රතිපත්තියයි ”-අමාත්‍ය ජී එල් පිරිස්

පෙබ 21, 2021

    වරප්‍රසාද අහිමිව, ඉදිරියට එන්නට අවස්ථා මග හැරී සිටින පිරිස් හඳුනා ගනිමින්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දුන් විට ඉතා සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගන්නා බවත්, ගම්බද ජනතාවගේ ප්‍රශ්න සියැසින් දැක, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම රජයේ ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසී ය .

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මධ්‍යම පළාතේ විල්ගමුව, හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් විද්‍යාල පරිශ්‍රයේ අද (21) පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව, දීප ව්‍යාප්ත ව ක්‍රියාවට නැංවෙන ‘ගම සමග පිළිසඳර’ දෙවන වැඩසටහන යටතේ එතුමන් විසින් ලබා දුන් උපදෙස් අනුව මෙම පාසල් ගොඩනැගිල්ල ඉදි කරන ලදී .

    බොහෝ දුෂ්කර පාසල්වලින් අති දක්ෂ දරුවන් ගොඩ නැගෙන බවත්, එම පාසල් හඳුනා ගනිමින් ප්‍රමුඛ අවශ්‍යතා කඩිනමින් සපුරාලීමට වත්මන් රජය සුවිශේෂ අවධානය යොමු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා , රට පුරා අලුතින් ජාතික පාසල් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති අතර , එහි දී එම පාසල වටා ඇති පෝෂිත පාසල් සහ සෑම ප්‍රදේශයක ම දරුවන්ට පාසල කරා ළඟා වීමට ඇති පහසුව ආදී නිර්ණායක කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළේය .

    විරුද්ධ පක්ෂයට අද ඇති විශාලම අභියෝගය වී ඇත්තේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාව බවත්, ගමේ මිනිසුන්ගේ සැබෑ ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නට ජනාධිපතිතුමා පෞද්ගලිකව ඔවුන් මුණ ගැසීම ගමට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ දී අතිශයින් සාර්ථක බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අපේ රට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් ව ඇති බවත්, ඔවුන් විසින් අපේ ත්‍රිවිධ හමුදාව යනු ජනතාව බිය ගන්වන, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන පිරිසක් ලෙස චෝදනාවට ලක් කර ඇති බවත්, තිස් වසරක යුද්ධය ශක්තිමත් නායකත්වයක් යටතේ අවසන් කර, මානුෂීය මෙහෙයුමක නිරතව ජනතාව වෙනුවෙන් පෙනී සිටී අපේ හමුදාව එම චෝදනාවෙන් ගලවා ගැනීම වෙනුවෙන් තව දින දෙකකින් ජිනීවා හමුවේ රජය පෙනී සිටින බවත් සඳහන් කළ අමාත්‍යවරයා , ජනතාවගේ සියලු අවශ්‍යතාවලදී අපේ හමුදාව සමීප ව පෙනී සිටි බවත් පැවසී ය.

    මේ පාසලේ අද සිදුවන වැඩසටහන මේ සඳහා තවත් ජීවමාන සාක්ෂියක් සපයන බව ද මෙම පාසලේ නව ගොඩනැගිල්ලේ සියලු ඉදි කිරීම් යුද හමුදාවේ පාබල සේනාංකය විසින් සිදුකර ඇති බවද ඒ වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බවද සඳහන් කළේය.

    මෙරට පාසල් පද්ධතියේ බොහෝ පාසල් වල ඉතා දිගු කාලයක් සේවය කළ, වැඩබලන විදුහල්පතිවරුන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් රජයේ අවධානය යොමුවී ඇති බව ද ඊට අදාළ කැබිනට් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ,පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය කමිටු සංවර්ධන සභාපති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නාලක කෝට්ටේගොඩ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    Latest News