දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් - අධ්‍යාපන අමාත්‍ය

මාර් 03, 2021

    පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්, ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

    දරුවන්ගේ දුරස්ථ අධ්‍යාපන කටයුතු සඳහා සහාය වීමත් ඔවුන්ගේ ශාරීරික ක්‍රියාශීලීභාවය වැඩි කිරීමත් අරමුණු කරගනිමින් මයිලෝ වෙතින් හඳුන්වාදෙන ලද ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රහක දරුවන්ට ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම් ඇතුළු ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති විශේෂ උත්සවයේ දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යය දැක්ම විශ්ලේෂණය කරන විට එහි වැදගත්ම අංගයක් වන්නේ මෙරට මානව සම්පත් සංවර්ධනය කිරීම බවත්, එය අපට ඇති සහජ සම්පත හා ශක්තිය බවත්, දරුවන්ගේ අධ්‍යාපනය අවසානයේ දී ලබාගත් දැනුමට සරිලන රැකියා අවස්ථා සම්පාදනයේදී පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වන බවත්, එය යථාර්තයක් බවට පත් කිරීමට නෙස්ලේ ලංකා සමාගම ඉදිරිපත් ව සිටීම කෘතවේදීව අගය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් මෙරට පාසල් දරුවන් දස දහසක් වෙත රුපියල් මිලියන 10 ක් වටිනා ත්‍යාග ලැප්ටොප්, ටැබ්, රීලෝඩ් පහසුකම්, ස්කූටර්, බයිසිකල්, ස්කේට්බෝඩ්, පැසිපන්දු, පාපන්දු, skipping rope, headset හා පාසල් බෑග් ආදිය පිරිනමන අතර කොවිඩ් සමයේ නිවසටම සීමා වී සිටින දරුවන්ට ඒ හරහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමටත් ශාරීරිකව ක්‍රියාශීලී වීමටත් සහාය වීම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන යටතේ 2021 පෙබරවාරි 18 සිට 2021 අප්‍රේල් 18 දක්වා කාලය තුළ සෑම සතියක දීම කුසපත් ඇදීමෙන් දරුවන් දහසක් තෝරා ගනිමින් මෙම ත්‍යාග පිරිනැමීමට මයිලෝ ආයතනය සූදානමින් සිටී.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගොඩගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

    Latest News