‘‘මේ වසර අලුත් ආණ්ඩුවක් හැදෙන - හදන වසරක්‘‘

ජන 31, 2019

    රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පස්වරුවේ එක්වෙමිනි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ රට පුරා නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.

    නව කාර්යාල පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය. සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

    අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරිම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවැරදිව හඳුනා ගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.

    සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවාදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි‍්‍රයාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.

    එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලූත් ආණ්ඩුවක් හදන වසරක් බවයි. එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී උත්සව සභාව ඇමතීය. මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සරත් ඒකනායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු සංවිධායකවරුන් සහ කි‍්‍රයාකාරිහු මීට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 20:45

    Latest News