බොආඕ සංසදය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිතුමා කළ කතාව...

අප්‍රේ 20, 2021

    මේ වසරේ, ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි. පළමුව, රටවල් එක අරමුණකට ගෙන ඒම සඳහා දශක දෙකක විශිෂ්ට කාර්යයක් නිම කිරීම පිළිබඳව බොආඕ සංසදයට මම සුබ පතමි.

    මහජන චීන සමූහාණ්ඩුව විසින් ආසියාවේ බොආඕ සංසදය තුල සිදු කරන ලද ප්‍රධාන කාර්ය භාරය අගය කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශතවර්ෂ ගණනාවක ප්‍රෞඩ ඉතිහාසය තුළ, ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝනය ගෞරවය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායික සහයෝගී හවුල්කාරිත්වයක් පවත්වාගෙන ඇත. ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍රයන් උදෙසා අතිගරු ෂී ජින් පිං ජනාධිපතිතුමා සහ චීන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය මම අගය කරමි.

    ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල්, විශේෂයෙන්ම ආසියානු කලාපයේ අසල්වැසි රටවල් සමඟ සහයෝගීතාව අපේක්ෂා කරන පැහැදිලි හා නව ජවයකින් යුත් විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. එම විදේශ ප්‍රතිපත්තිය සමානාත්මතාව හා නොබැඳි කොන්දේසි මත පදනම් ව සැකසී ඇත.

    මෙම මූලධර්ම අපගේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ අන්තර්ගත වේ. එබැවින්, සමුළුවේ මේ වසරේ තේමාව තුලින් ගෝලීය පාලනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබීම මම අගය කරමි. ජාත්‍යන්තර සබඳතා සඳහා වඩාත් සාධාරණ හා ගෞරවනීය පදනමක් කරා අප ළඟාවීම අත්‍යවශ්‍ය වේ.

    පවත්නා ගෝලීය ව්‍යුහයන් සහ පාලන යාන්ත්‍රණයන් නිරන්තරයෙන් වෙනස්වන ගෝලීය අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා සිටින ජනතාවට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇත.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය කුමක් වුවත්, මෙම රටවලට අප්‍රමාණ වූ නීති, රෙගුලාසි සහ පාලන ව්‍යුහයන් පිළිපැදිමට සිදු වේ. එනමුත් ඔවුනට ගෝලීය නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ විය නොහැකි බවත් අපි දනිමු. මෙය කණගාටුදායක තත්වයකි.

    ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මතයන් සහ නීති අතර සාධාරණ සමබරතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම සමානාත්මතාව පවත්වාගෙන යාමේදී ස්වාධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුය.

    කලාපයේ දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් සේද මාවත ප්‍රවේශය කලාපීය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් එක්ව පොදු කාර්යයක් සඳහා එකට වැඩ කිරීමට හැකිවී තිබේ. එවැනි මුලපිරීම් ප්‍රශංසනීයය.

    ශ්‍රී ලංකාව සාමකාමී, දේශපාලනික වශයෙන් ස්ථාවර රාජ්‍යයක් වන අතර එහි සංවර්ධන රාමුව යටතේ සිය අරමුණු සපුරාලීම සඳහා දේශීය පාලන ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබේ. ඵලදායී පුරවැසියන්, සතුටින් පිරි පවුලක්, විනය ගරුක සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක් යන සිව් වැදෑරුම් ප්‍රතිඵල ලබාදීම සඳහා ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 10 ක් හඳුනාගෙන ඇත.

    අඩු ආදායම්ලාභී පවුල් ද්‍රරිතාවයෙන් මුදවා ගැනීම, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ රට පුරා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය භාවිතය වැඩි දියුණු කිරීම සඳහා අප හොඳින් සිතා බලා සැලසුම් සකස් කර ඇත. ඉදිරි වසරවලදී අපගේ ආර්ථිකය සැලකිය යුතු ලෙස නගාසිටුවීමට හා ශක්තිමත් කිරීමට අපට අපේක්ෂා සහගත සැලසුම් තිබේ.

    මෙම ක්‍රියාවලිය සඳහා අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වය අපි අපේක්ෂා කරමු. අපගේ බලාපොරොත්තුව ණය ලබා ගැනීමට නොව ආයෝජන දිරිමත් කිරීම වේ. වාසිදායක බදු ව්‍යුහයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළුව විදේශ සෘජු ආයෝජන සඳහා අපි ආකර්ශනීය ප්‍රතිපත්ති සකස් කර ඇත්තෙමු.

    බොආඕ සංසදයේ සාමාජික රටවල රජයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක් සේ සලකන ලෙස. එලෙසම එම රටවල් මගින් අප රට තුල තවත් ව්‍යාපාර ඇරඹිමට ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස ද ඉල්ලා සිටිමු. විශේෂයෙන් අපේ ආර්ථිකයට වාසිදායක බලපෑමක් ඇති කරන අපනයන අරමුණු කරගත් කර්මාන්තවල ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අප උත්සාහ කරන්නෙමු.

    අවසාන වශයෙන්, බොආඕ සංසදයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එහි උපදෙස්, මූලධර්ම සහ එහි අරමුණ කෙරෙහි ඇති කැපවීම මම සහතික වෙමි. මෙම ගෝලීය වශයෙන් අභියෝගාත්මක තත්වය තුල 2021 BFA වාර්ෂික සමුළුව මගින් කලාපයේ සහ ලෝකයේ අනෙකුත් රටවල් අතර වාසිදායක තත්වයක් ඇති කිරීමට දායකත්වයක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි.

    ස්තුතියි.

    Latest News