වරාය නගරය තුළ පළමු ආයෝජනය ලෙස ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය; ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමාගමක් සූදානමින්.....

අප්‍රේ 22, 2021

    කොළඹ වරාය නගරය තුළ පළමු ආයෝජනය ලෙස ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට ශ්‍රී ලාංකීය ව්‍යාපාර සමාගමක් සූදානමින් සිටී.

    සංවර්ධන රටවල යටිතල පහසුකම් සහිත මේ කලාපය කොළඹ නගරයේම දිගුවක් බව සමාගම පවසයි. මුහුදේ ඉදි කෙරුණු දියකඩනයත් සමඟ කොළඹ වරාය නගරයට අයත් මුළු ප්‍රදේශය අක්කර 1,102ක්. ඒ අතරින් ගොඩ කරනු ලැබූ භූමි ප්‍රදේශය අක්කර 664ක් ලෙස සැලකේ. ගොඩනැගිලි ඉදි කළ හැකි ප්‍රදේශය ලෙස වෙන්කර ඇති භූමිය අක්කර 439ක්. ආයෝජකයින් සඳහා එහි බිම් කොටස් 74ක් වෙන්කර තිබේ.

    ගොඩනැගිලි ඉදි කළ හැකි අක්කර 439ක භූමියෙන් ව්‍යාපෘති සමාගම වෙත 99 අවුරුදු බදු පදනම යටතේ අක්කර 286ක් ලබාදීමට එකඟතාව පළ වී තිබේ. ඉතිරි අක්කර 153 ශ්‍රී ලංකා රජයට සෘජු පරිහරණය හෝ වෙනත් පාර්ශ්වයකට ප්‍රති බදුදීමේ හැකියාව පවතී.

    වරාය නගරය සඳහා ඉදිරිපත් කෙරුණු ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතෙන් ආයෝජකයන් මෙරටට ආකර්ශනය කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ඇතැයි එම සමාගම පවසයි.

    ආයෝජකයින්ට “තනි කවුළුවක්“ තුළින් සියලු සේවා අවශ්‍යතා සම්පූර්ණ කර ගත හැකි ආකාරයේ පහසුකම් සැලසීම සහ විධිමත් නීති රීති පද්ධතියක් හා කාර්යක්‍ෂම කළමනාකරණයක් සහිත පසුබිමක් නිර්මාණය කිරීම එම කොමිෂන් සභාව ඇති කිරීමේ අරමුණ බව ව්‍යාපෘතිය පවසයි.

    ඒ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ වැදගත්ම පියවරට මේ වනවිට එළඹ තිබේ. ගැටලුකාරී තත්වයන් සමතයකට පත්වූ පසු ව්‍යාපෘතිය ලෝකය හමුවට රැගෙන යාමට අපේක්‍ෂිතයි. ලොව ප්‍රමුඛ පෙළේ ධනවතුන් ආකර්ශනය කරගත හැකි සැහැල්ලු යාත්‍රා අංගනයක ඉදිකිරීම් මේ වනවිට නිමවී තිබේ.

    ශ්‍රී ලාංකික සමාගම් සහ ව්‍යාපාරිකයන් සතු සැහැල්ලු යාත්‍රා සමූහයක් දැන් මේ අංගනය භාවිතා කරයි. විදේශීය සැහැල්ලු යාත්‍රා ද මේ වනවිට අංගනය වෙත ආකර්ශනය වෙමින් පවතින බව, “පෝට් සිටි“ සමාගම පවසයි.

    මේ දක්වා “සැහැල්ලු යාත්‍රා“ නැංගුරම් ලා තැබීමේ වරායක් ලෙස, ප්‍රකටව පැවතියේ ගාල්ල වරාය පමණි.

    Latest News