පච්ච ගැසූ ෆෝන් හොරා (වීඩියෝ)

පෙබ 08, 2019

    ගලේවෙල නගරයේ පිහිටි දුරකතන අලෙවි සැලකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි තිබූ වටිනා ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරාගෙන ඇත.

    මෙම ජංගම දුරකථන සහ භාණ්ඩ සොරා ගන්නා ආකාරය ඉතා පැහැදිලිව වෙළඳසැල තුළ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.

    වෙළඳසැලේ පිටුපස දොර කඩා මෙම පුද්ගලයන් දෙදෙනා වෙළඳසැලට ඇතුලු වී තිබේ. ඔවුන් වෙළඳසැල පුරා ඇවිදිමින් වටිනා ජංගම දුරකථන සොයන ආකාරයත් ඒවා සොරා ගන්නා ආකාරයත් CCTV දර්ශනවල පැහැදිළිව දර්ශනය වේ. තවද මෙහි එක් පුද්ගලයෙකු උඩුකය නිරුවත්ව පාවහන් යුගලය ඔහුගේ කලිසමේ ඉනේ සඟවාගෙන සිටින ආකාරයත් එක් අතක විශාල පච්චයක් කොටා තිබෙන ආකාරයත් දැක ගත හැකියි. එම පුද්ගලයන් මෙතෙක් හඳුනා ගැනීමට හැකි වී නැතැයි ගලේවෙල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මෙ දිනවල ගලේවෙල දඹුල්ල ආදී ප්‍රදේශවල මෙයාකාරයෙන් ගෙවල් සහ වෙළඳසැල් බිඳ භාණ්ඩ හා මුදල් සොරා ගැනීමේ ක්‍රියාවලිය සිදුවෙන බව එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරු සඳහන් කර සිටිති.

    බොහෝදුරට මත් කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙයාකාරයෙන් වෙළඳසැල්වලට ඇතුළු වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. මෑත කාලයේදී මත්කුඩු ජාවාරම්කරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමත් සමග මත්කුඩු අලෙවිය ඉතා සීමිත පිරිසක් විසින් සිදුකරයි. එබැවින් මත්කුඩුවල මිල ඉතා විශාල වශයෙන් ඉහළ  යෑම මෙම සොරකම් සිදුවීමට විශේෂ හේතුවක් බව පොලිසිය කියයි.

    මෙම ඡායාරූපවල සහ වීඩියෝවල දර්ශනය වන පුද්ගලයන් පිළිබඳව තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිසියට දැනුම් දෙන ලෙසද ගලේවෙල පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

     

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 13:35

    Latest News