දේශපාලනයෙන් බෙදී නොසිට රට ගොඩනැංවීමට එක්වන්න;අගමැති (වීඩියෝ)

පෙබ 09, 2019

    දේශපාලන පක්‍ෂ වශයෙන් බෙදී නොසිට එක්ව වැඩ කිරීමෙන් රට ගොඩනැංවිය හැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    ඊට දායකවීමට කැමති සියලු දෙනා වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ දොරටු විවෘත කර ඇති බවයි, අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. එතුමා මේ බව ප්‍රකාශ කළේ ගාල්ලේ අද පැවති උත්සවයකට එක්වෙමින්. එය සංවිධාන කර තිබුණේ, පළාත් පාලන ආයතන 93ක් සඳහා කසළ කළමනාකරණයට අවශ්‍ය රථවාහන බෙදාදීම නිමිත්තෙන්.

    අද උදේ ඓතිහාසික ගාලු කොටුව වෙත ගිය අග්‍රාමාත්‍යතුමා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව රුපියල් කෝටියක වියදමින් ඉදි කෙරුණු නව ශරීර සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කළේය. වික්‍රමසිංහ මහතා ගාල්ල කොටුව “හෝල් ඩි ගෝල්“ ශාලාවේ පැවති කසළ කළමනාකරණ රථවාහන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූයේ ඉන් අනතුරුවයි. පළාත් පාලන ආයතන සඳහා කම්පැක්ටර් යන්ත්‍ර, ගලිබවුසර්, සහ ජේසීබ් යන්ත්‍ර පිරිනැමිණ.

    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන වෙත ලබාදෙන වාහනවල වටිනාකම රුපියල් තිස්හත් කෝටි පනස් ලක්‍ෂයක්. වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    මේ අතර, ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එක්විය. මෙය ක්‍රියාත්මක කෙරුණේ, රුපියල් හය කෝටි විසි ලක්‍ෂයක වියදමින්. නියාගම පුණ්‍යාරාමය විහාරස්ථානයේ රුපියල් හැටපන් ලක්‍ෂයක වියදමින් ඉදි කෙරුණු සුරක්‍ෂා මධ්‍යස්ථානය ද අග්‍රාමාත්‍යතුමා අතින් ජනතා අයිතියට පත්විය.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 20:30

    Latest News