අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම ගැන තවදුරටත් සාකච්ඡා

ජූලි 19, 2021

    බැඳුම්කර නඩුවේ විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි.



    2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වුවත් ඔහු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නා.

    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම් දීම සිදු කළා

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් උදර්පණ නීතිය යටතේ මෙරට නීතිපතිවරයා සහ සිංගප්පූරු නීතිපතිවරයා අතර කරුණු හුවමාරුවෙමින් තිබෙන බව දන්වා සිටියා.

    මෙහිදී මහධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් විමසා සිටියේ මෙම විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව යි.

    ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට සහ සිංගප්පූරු නීතිපතිවරු අතර අදහස් සහ ලිපි හුවමාරු කිරීම නිරන්තරයෙන් සිදු වෙමින් පවතින බව දන්වා සිටියා.

    මෙම උදර්පණ ක්‍රියාවලිය තුළ සාධනීය ප්‍රතිඵලයක් අත් නොවන්නේ නම් ඉදිරියේ දී අදාළ විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙහිදී අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

    මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා සිංගප්පූරුවේ වාසය කරමින් සිටියද ඔහු මේ වන විට මැලේසියාවට වාසය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පැවැසුවා.

    මේ නිසා මෙම විත්තිකරුට නොතීසි බාරදීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්වයක් උද්ගත වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩු විභාගයක් පත්වාගෙන යාම සඳහා ඉල්ලීමක් කරන බවත් ඊට අදාළ සාක්ෂි සහ ලියවිලි මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියා.

    ඒ අනුව එම කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා නඩුව නැවත සැප්තැම්බර් මස 22 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ලෙන් නියම කළා.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688,762,100 ක බැඳුම්කර සම්බන්ධයෙන්ප සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය එහි අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස් එහි විධායක අධ්‍යක්ෂ කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    Latest News