අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වීමට නීතිපති ආරක්ෂක හා විදේශ අමාත්‍යංශයට ලිපි ගොනු භාරදේ

සැප් 02, 2019

    මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලිපි ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙනු ලැබිණ.

    නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බවයි.

    භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම ම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව ඔහුව ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකා රජයට අවකාශ ඇති බව ඇය කියා සිටි.

    භාණ්ඩාගාර බැදුම්කර මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි. මේ අනුව නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලැබිණ.

    එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පසුගියදා නිකුත් කළේය.

    එම වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන නීතීපතිවරයා විසින් සකස් කරන ලදී.

    ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාරදුන් බව නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේය. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරූ රජයට ඉදිරිපත් කර මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරූ රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

     

     

     

    Latest News