'මෙරට සෞඛ්‍ය සේවය ලොව හොඳම සෞඛ්‍ය සේවාවක්'...සෞඛ්‍ය ඇමති

ඔක් 02, 2021

    මෙරට සෞඛ්‍ය සේවාව ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් බවත්, දකුණු ආසියාවේ ප්‍රමුඛ දර්ශක ශ්‍රී ලංකාව ළඟා කර ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුවැල්ල මහතා පවසයි.

    රටේ රෝහල්ගත ක්‍රියාවලීන් වලින් 95% ක් සහ රෝග නිවාරණ සේවාවන්ගෙන් 99% රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් සිදු කිරීම ආඩම්බරයක් යැයිද, අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සම්මන්ත්‍රණ ශාලාවේ අද (02) පැවති අලුතින් බඳවා ගැනෙන සීමාවාසික වෛද්‍යවරුන් සඳහා වන යහපත් සීමාවාසිකයා පුහුණු වැඩසටහනට එක්වෙමින් මේ බව පැවසීය.

    පූර්ණ නේවාසික වෛද්‍යවරුන් සඳහා පැවැත්වෙන මෙම වැඩසටහන යහපත් සීමාවාසිකයා වැඩසටහන ලෙසින් නම් කර ඇත. මෙමගින් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක බව දියුණු කිරීම අපේක්ෂාවයි.

    මෙහි පළමු පියවර ලෙස සිංහල,දෙමළ , ඉංග්‍රීසි භාෂා පුහුණුව සති දෙකක කාලයක් ලබා දෙයි. 2013 වසරේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 4400 ට මෙලෙස දෙවන භාෂා පුහුණුව ලබා දී ඇත. එමෙන්ම රෝගී සත්කාරය සඳහා අත්‍යවශ්‍ය ප්‍රායෝගික සායන පුහුණු පාඨමාලාවද මින් ලබා දේ. එමෙන්ම සායනික කුසලතා දියුණු කිරීම සඳහා වන පාඨමාලාවක්ද මෙයට ඇතුළත් වේ.

    මෙම සියලු පුහුණු වැඩසටහන් තුළ සීමාවාසික වෛද්‍යවරුන්ගේ ගුණාත්මකභාවය, මහජන සන්නිවේදනය ආදිය ප්‍රගුණ කිරීමද සිදු කෙරේ.

    විශේෂයෙන්ම මෙම ගෝලීය වසංගතය ඉලක්ක කර ගනිමින් කොවිඩ් හමුවේ වෛද්‍යවරුන් කටයුතු කළ යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් ඔස්සේ පෙන්වා දීම මෙවර පාඨමාලාව තුළින් සිදු වේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශය , ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සමගින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණි.

    මෙරට සෞඛ්‍ය සේවකයන් විශේෂයෙන් අපගේ වෛද්‍යවරුන්ට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    2018 ලෝක බැංකු වාර්තාවට අනුව, සජීවී දරු උපත් 100,000 කට මාතෘ මරණ අනුපාතය 33.8 ක් ද, උපත් 1000 ක් සඳහා ළදරු මරණ අනුපාතය 9 ක් ද, උපතේ දී ජීවිත අපේක්ෂාව වයස අවුරුදු 75 ක්ද බවට පෙන්වා දී ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    Latest News