මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදහස්

ඔක් 15, 2021

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ඔවුන් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන තිස් හයකට අධික අරමුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනු කළ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම විත්තිකරුවන්ට එරෙහිව දිවි නැගුම අරමුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් මීට පෙර ගොනුකර තිබූ තවත් නඩුවකින් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබූ බව සඳහන් කළා.

    එසේ නිදොස් කොට නිදහස් කෙරුණු නඩුවේ කරුණු හා මෙම නඩුවේ කරුණු බොහෝ දුරට සමාන හා සමාන්තර බැවින් මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට විත්ති පාර්ශ්වය විසින් නීතිපතිවරයා වෙත කරුණු සැලකීම් සිදුකළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

    කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍ර පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    ඉල්ලීම පිළිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් නිදහස් කිරීමට තීන්දු කළා.

    2015 වසරේ වති ජනාධිපතිවරණය සමයේ දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තු ට අයත් රුපියල් 36509124/- ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප බට මිලදී ගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් එම මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News