බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීම ගැන නියෝගය ලබන පළවෙනිදා

ජන 19, 2022

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහි නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය පෙබරවාරි මස 01 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළා.

    ඒ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් ඔවුන් චෝදනා ලබා සිටිනවා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ යළි විභාගෙට ගත්තා.

    එහිදී පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියා.

    ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 01 වන දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්දදායකයන් පෙළඹවීමේ අරමුණින් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඉකුත් යහපාලන රජය සමයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබුණා.

    Latest News