චීන පොහොර සමාගමට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

දෙසැ 03, 2021

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 23 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.

    කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    පෙත්සම්කාර පොහොර සමාගම් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වග උත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබිණ.

    ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය.

    ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම් අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ද යලි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කර තිබේ.

    Latest News