අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු සහාය

දෙසැ 21, 2021

    කලාපයේ අධ්‍යාපන කේන්ද්‍රය බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩෲස් (Karen Andrews) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

    ඕස්ට්‍රේලියාවේ උපාධි අපේක්ෂා කරන වෙනත් රටවල සිසුන්ට අදාළ පාඨමාලාවන්හි මූලික අදියරයන් ශ්‍රී ලංකාවේ දී හැදෑරීමට අවශ්‍ය අධ්‍යාපන ආයතන මෙරට ස්ථාපනය කිරීමෙන් මෙම අවකාශය සැලසෙන බව ඇන්ඩෲස් මහත්මිය පෙන්වා දෙයි.

    ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (20) පස්වරුවේ පැවති හමුවේ දී අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධව වෘත්තීය හා නිපුණතා සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා වෙන්කර ඇති මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 12කි.

    මෙරට කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙනැවිත් අගය එකතු කර, ප්‍රතිඅපනයනය ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව කැරන් ඇන්ඩෲස් මහත්මිය සඳහන් කළාය.

    හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය ඇගයීමට ලක් කළ අමාත්‍යවරිය තිරසර කෘෂිකර්මාන්තය සඳහා ඕස්ට්‍රේලියාව ද උනන්දුවෙන් පසුවන බව පැවසුවාය.

    දෙරට අතර තානාපති සබඳතාවලට 2022 දී 75 වසරක් සපිරේ. එම දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් ක්‍රියාමාර්ග ඇන්ඩෲස් මහත්මියගේ පැසසුමට ලක් විය.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11.7ක පරිත්‍යාගයක් සිදු කරමින් ලබාදුන් සහාය ජනාධිපතිතුමා සිහිපත් කළේය.

    ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී මිනිස් ජාවාරම නැවැත්වීමට එවකට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා සමග ගිවිසුමකට එළැඹිණ. ස්කොට් මොරිසන් මහතා මේ වන විට ඕස්ට්‍රේලියානු අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම පිළිබඳව සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මිනිස් ජාවාරම මැඩලීම සඳහා දෙරට අතර ශක්තිමත් යාන්ත්‍රණයක් තවදුරටත් අපේක්ෂා කරන බව පැවසීය.

    ඉන්දියන් සාගරයේ ස්ථායීභාවය රැකගනිමින් ඉදිරියටත් එම කටයුතු සඳහා තම රජයේ සහාය එලෙසින්ම ලබාදෙන බවත්, කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තම රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ඇන්ඩෲස් මහත්මිය සඳහන් කළාය.

    ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමටත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතැම් වගන්ති සංශෝධනයට රජය කටයුතු කරමින් ඇති බවත් ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

    ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේව්ඩ් හෝලි (David Holly), අමාත්‍ය උපදේශක ලච්ලන් මැක්නෝටන් (Lachlan McNaughton), පළමු සහකාර ලේකම් (ජාත්‍යන්තර අංශය) ඇඩම් මේයර් (Adam Meyer) විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News