චීන පොහොර නැවට පැනවූ වාරණ නියෝගය ගැන තීරණය ජනවාරියේ

දෙසැ 23, 2021
    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි  දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය  ඉවත් කරනවා ද?  දීර්ඝ කරනවා ද? යන නියෝගය ජනවාරි මස 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද ප්‍රකාශ කළේය.
    ඒ අනූව දැනට පනවා තිබෙන වාරණ නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කළේය. අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ,කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැදවීමෙන් අනතුරුවයි. 
    පෙත්සම්කාර පොහොර සමාගම මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගෘප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබිණ.
    ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 
    ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය  පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මේ  තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය. 
    ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම් අධිකරණයෙන් ඉල්ලා තිබිණ. 
     
    මේ අතර ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ද යළි කැඳවීමෙන් අනතුරුව අදාළ වාරණ නියෝගය  ඉවත් කරනවාද නැද්ද යන නියෝගය ලබන 06 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
    එදින  දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දීර්ඝ කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළේය. 
    මෙහිදී වගඋත්තරකාර චීන පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ කිසියම් සමථයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි.
     

    Latest News