චීන පොහොර නැවට ගෙවීම් කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය විසුරුවා හැරේ

ජන 04, 2022

    බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලන ලෙස ඉල්ලා මහජන බැංකුව ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණය සමථයට පත් කෙරිණ.

    ඒ අනූව මුදල් ගෙවිම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ද විසුරුවා හැරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය.
    දෙපාර්ශවය නීතිඥවරු විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    එම කරුණු සලකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නඩු කටයුත්ත සමථයට පත් කිරීමට තීන්දු කළේය.
    සමථ කොන්දේසි වලට අනුව ප්‍රමිතියෙන් යුත් පොහොර සැපයීම වෙනුවෙන් පැමිණිලිකාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට එකඟ වී තිබේ.
    ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් චීන සමාගම තැන්පත් කර ඇති මුදල් රාජසන්තක කිරීමට ද දෙපාර්ශවය අධිකරණය හමුවේ එකඟ වී තිබේ.

    ප්‍රමිතියෙන් යුතු පොහොර ලබා නොදෙන්නේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ද පැමිණිලිකාර පාර්ශ්වය සතු වන බව සමථ කොන්දේසීවල සඳහන් විය.

    මේ යටතේ මුලින්ම මෙට්ට්‍රික් ටොන් 90000ක කාබනික පොහොර ලබා ගැනීමට එකඟතාවය පළ වී තිබුණ ද මුල් අදියර යටතේ මෙට්‍රික් ටොන් 20 ක ලබාගැනීමට ද සමථ කොන්දේසී ඔස්සේ පැමිණිලි කාර සමාගම එකඟ වී තිබේ.

    කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

    පෙත්සම්කාර පොහොර සමාගම් මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබා ගත් වගඋත්තරකාර කුවින්ඩාඔ සිවින් බයොටෙක් ගෘප්‍ කොම්පනි නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබිණ.

    ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොර වල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

    ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස් වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ එම සමාගම් මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය.

    ඒ අනූව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබා ගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම සමාගම අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

    මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් ලංකා පොහොර සමාගම විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ද සමථයකට පත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

    Latest News