ප්‍රවීන මනෝ විද්‍යා උපදේශක චන්දන ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි

දෙසැ 23, 2021

    ප්‍රවීන මනෝ විද්‍යා පුහුණු උපදේශකයෙකු සහ ධනාත්මක චින්තනය පිළිබඳ ජනප්‍රිය දේශකයෙකු වූ චන්දන ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රී අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු පසුවූයේ 60 හැවිරිදි වියේ.

    චන්දන ගුණවර්ධන මහතා සති කිහිපයක් අසනීප තත්වයෙන් රෝහල් ගතව සිටියේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බිහිවූ විද්‍යාර්ථයෙකු වූ ඔහු මාධ්‍යවේදය පිළිබඳ මොස්කව් සරසවියෙන් පශ්චාද් උපාධිධරයෙක්.

    සුබවාදී චින්තනය පිළිබඳ ජාත්‍යන්තර පුහුණුව ලබා ඇති ඔහු සම්පත් දායකයෙකු ලෙස ජනමාධ්‍ය හරහා ඉමහත් සේවයක් කළ විද්වතෙක්. 2003 වසරේ හඳුන්වා දුන් ඉලක්කය වැඩසටහනට ඉහළ දායකත්වයක් ලබාදුන් ඒ මහතා අනතුරුව විවිධ වැඩසටහන් තුලින් සිය දැනුම ලබාදී ආකල්ප සංවර්ධනයට ද දායක විය.

    සිතේ ශක්තිය ඇතුළු විවිධ විෂයන් පිළිබඳව ග්‍රන්ථ 37ක්ද ඔහු රචනා කර තිබේ. ප්‍රජා සංවර්ධන වැඩසටහන් 370ක් පමණ නොමිලේ පැවැත්වූ චන්දන ගුණවර්ධන මහතා මියයාමට සති කිහිපයකට පෙර විෂන් වැඩසටහන තුළින් සිය දේශන ඉදිරිපත් කළේය.

    දේහය හෙට පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සවස 4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.

    Latest News