විමල්ගේ නඩුව යළි මැයි 13

පෙබ 25, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කර තිබෙන නඩුව මැයි මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසයි.

    මෙම නඩුවට අදාළ සාක්ෂියක් වශයෙන් නම් කර ඇති වීඩියෝ පටයක් ද පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ නඩුව මැයි මස 13 වන විභාග කිරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා සිතකුත් කළේය.

    2016 වසරේ එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පියසිරි විජේනායක, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරුන් විත්තිකරුවන් කරමින් කුරුදුවත්ත පොලිසිය එම නඩුව ගොණුකර තිබෙනවා.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 12:16

    Latest News