කළු ගම්මිරිස් - බීඩිකොළ සැකකරුවන් යළි රිමාන්ඩ්

පෙබ 25, 2019

    වියට්නාම සහ බ්‍රසීලය යන රටවලින් කළු ගම්මිරිස් ආනයනය කර ඒවා නීති විරෝධී ලෙස ප්‍රති අපනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයෙකු වන නූර්දීන් ෆසල් අහමඩ් නමැති සැකකරු ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී  රේගුව අධිකරණයට දන්වා සිටියේ ඉකුත් විසි දෙවන දා අධිකරණ නියෝග මත බන්ධනාගාරයේ සිට මෙම සැකකරු රේගුවට රැගෙන විත් ඔහුගේ  ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.
    එම ප්‍රකාශය තුළින් වියට්නාමයේ සිට ආනයනය කරනු ලබන කළු ගම්මිරිස් ව්‍යාජ ලෙස පිහිටුවා ගත් ආයතන අටක් හරහා ප්‍රති අපනයනය කර ඇති බවට එහිදී සැකකරු පිළිගෙන ඇතැයි ද ශ්‍රී ලංකා රේගුව අධිකරණයට දන්වා සිටියේය.
    එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ශ්‍රී ලංකා රේගුව අධිකරණයට දන්වා සිටීයේ.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 05 වනදා  දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රේගුවට නියම කළේය.
    මේ අතර ඉන්දියාවේ සිට ආනයනය කළ බීඩි කොළ අඩංගු බහළුම් නීති විරෝධී ලෙස මුදා ගැනීම තුළින් ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 40 ක පාඩුවක් සිදු කළේ යැයි සැකකෙරෙන නූර්දීන් ෆසාල් අහමඩ් නමැති සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කර සිටියේය.
     
    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 15:48

    Latest News