වැලි ව්‍යාපාරය පවත්වාගෙන යාමට කප්පම් ඉල්ලූ අය දැලේ

පෙබ 25, 2019

    වැලි ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහය සළසා දෙන බවට පවසා මුදල් ඉල්ලූ යුද හමුදා කපිතාන්වරයෙකු හා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගැනේ.

    තණමල්විල ඇතිලිවැව ප්‍රදේශයේ දී ඊයේ මෙම වැටලීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. වීරවිල යුද හමුදා කඳවුරේ සේවය කරන කපිතාන්වරයෙකු හා ඇඹිලිපිටිය තුංකම යුද හමුදා කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු නිල ඇඳුම් ඇතුළු යුද උපකරණ සමඟ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙණ නිලධාරිවරයා හිතවතෙකු බව පවසා බාධාවකින් තොරව වැලි ව්‍යාපාරය පවත්වාගෙන යාමට පහසුකම් සැලසීමට ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්‍ෂ 5ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් රුපියල් ලක්‍ෂයක අත්තිකාරම් ලබාගැනීමට යාමේ දී සිවිල් ඇඳුමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලාන්ස් කෝප්‍රල්වරයා අත්අංඩංගුවට ගත්හ. ඔවුන් පැමිණි මෝටර් රථය පදවාගෙන ආ යුද හමුදා කපිත්නාවරයා ද අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

    පසුව ලාන්ස් කෝප්‍රල්වරයා පදිංචි තණමල්විල ගාමිණිපුර ප්‍රදේශයේ නිවස පරීක්‍ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම් කට්ටල 16ක්, සංග්‍රාමික බැනියම් 6ක්, හිස්වැසුම්, බඳපටි, අත්බෝම්බයක්, ටී-56 අවි සඳහා යොදන ජීව උණ්ඩ 47ක් හා පතුරම් තුවක්කුවක් ද විශේෂ කාර්ය බලකා බාරයට ගෙන ඇත. කෝප්‍රල්වරයා නිවාඩු ලබා පැමිණ සිටි අතර කපිත්නාවරයා අත්අඩංඟුවට ගන්නා විට රාජකාරියේ යෙදී සිටි බව හෙළිවී තිබේ. ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් හා මෝටර් රථය ඌව කුඩා ඔය පොලිසිය වෙත බාරදෙනු ලැබීය.

    Latest News