සියලු රාජ්‍ය සේවකයින්ට රු.5,000ක අතිරේක දීමනාවක්

ජන 04, 2022
  • රජයේ සේවකයින් සඳහා සෑම මසකම රුපියල් 5,000ක දීමනාවක් ලබාදීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී අනුමැතිය හිමිවිය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ 666,480 පමණ සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද එම රුපියල් 5,000ක දීමනාව හිමිවන බවයි.

    ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5,000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කළේ.
    මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3,500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1,000ක අතිරේක මුදලක් ලබාදීමට තීරණය කෙරිණ.

    සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙන බව ද මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

    වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව මුල්කරගෙන ඉදිරියේදී වී කිලෝවක් රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබී ඇති බව මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

    මේ වන විට වී කිලෝවක් සඳහා ගෙවනු ලබන්නේ, රුපියල් 50ක මුදලකි.

    මිට අමතරව 'අපි වවමු - රට නගමු' සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5,000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ. ඒ අනූව මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 229ක් රජයට වැය කෙරෙන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    එමෙන්ම රටේ පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on අඟහරුවාදා, 04 ජනවාරි 2022 07:54

    Latest News