කීර්තිනාමය හානිවීමට වන්දියක් ඉල්ලා ඇමති ජොන්ස්ටන්ගෙන්, වසන්තට එන්තරවාසියක්

මාර් 29, 2022

    අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ජනතා විමුකිත් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි අදියරේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කිරීම ඊට හේතුවයි.

    දූෂණ විරෝධී හඩ සංවිධානය පෙබරවාරි 20වැනිදා සංවිධාන කළ මාධ්‍ය හමුවක දී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 20ක කොටසේ ඉදිකිරීම් ටෙන්ඩරයක් ලබාදීමේදී මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවයි දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

    එම මූල්‍ය වංචාව මගින් ශ්‍රී ලංකා රජයට සිදුවී ඇති පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 164 ඉක්මවන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

    එම මාධ්‍ය සාකච්ජාව සමරසිංහ මහතාගේ යූ ටියුබ් නාලිකාවේ සහ මුහුණු පොතේ ප්‍රසිද්ධ කොට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් එන්තරවාසියේ සඳහන්.

    එම පදනම් විරහිත හා අසත්‍ය ප්‍රකාශ මගින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කසුන් වීරසේකර මහතා අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත ඉල්ලා වසන්ත සමරසිංහ මහතාට එන්තරවාසියක් නිකුත්කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 29 මාර්තු 2022 11:31

    Latest News