විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයක් ගැන නීතිපති උපදෙස් ලබා ගැනේ

ජූනි 10, 2022

    2018 වසරේ යාපනයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී කොටි සංවිධානය යළි නගා සිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය ද අධිකරණයේ පෙනී සිටියා.

    එම අවස්ථාවේදී විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වල උද්ධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

    නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා යළි ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවන ලෙස නියම කළා.

    2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශ සිදු කළේ යැයි සැකපිට විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News