‍‍ජපානය - ශ්‍රී ලංකා තානාපති සබඳතා ස්ථාපනය කර වසර 70ක් සපිරෙයි

සැප් 06, 2022

    ‍‍ජපානය සහ ශ්‍රී  ලංකාව අතර තානාපති සබඳතා ස්ථාපනය කර වසර 70 ක් මේ වසරට සම්පූර්ණ වනවා. ද්විපාර්ශ්වික සබඳතා ස්ථාපනයට හේතුවූ, ජේ ආර් ජයවර්ධන මහතා “සෙන්ෆ්‍රැන්සිස්කෝ” සමුළුව අමතා කළ දේශනය  මෙරට විදෙස් සබඳතා පිළිබඳ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්.

    ඒ පිළිබඳ සමරු වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික රූපවාහිනී පරිශ්‍රයේදී අද සවස පැවැත්වීමට නියමිතයි.

    දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය සිදු කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එරට අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීමට ලෝක බලවතුන් 1951 වසරේ දී අමෙරිකාවේ “සෙන්ෆ්‍රැන්සිස්කෝ” හි දී සම්මේලනයක් පැවැත්වුවා.

    එහිදී ආසියාව නියෝජනය කළ රටවල් අතරින් කුඩාම රාජ්‍ය   වූයේ ශ්‍රී  ලංකාවයි.  මෙරට නියෝජිතයා ලෙස සමුළුවට සහභාගී වූ එවකට මුදල් ඇමති දිවංගත ජේ ආර් ජයවර්ධන මහතා සිදු කළ දේශනය ඉතිහාසයේ නොමැකෙන සටහනක්. 

    බුදුවදන් පදනම් කර ගනිමින් නහී වේරාන වේරානී ගාථාව උපුටා දක්වමින් ජේ ආර් ජයවර්ධන මහතා “සෙන්ෆ්‍රැන්සිස්කෝ” සමුළුවේ දී ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ ජපානයට සාමකාමී ලෙස අන්තර් ජාතික  ප්‍රජාව සමග සම්බන්ධ වීමට ඉඩ සලසන ලෙසයි. මෙය, ජපානයට සහන සැලසීමට හේතු සාධක වූ වැදගත් කරුණක් ලෙස සලකනු ලබනවා.

    පසුකාලීනව ලොව ඉහළ සංවර්ධිත රාජ්‍යයක් වූ ජපානය, 1951 වසරේ දී කුඩා ශ්‍රී ලංකාව තමන් වෙත දැක්වූ සහය කිසි විටකත් අමතක කළේ නැහැ. ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු  තානාපති සබඳතා ආරම්භ කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව මුල් තැනක පසු වුණා.

    1952 වසරේ දී දෙරට අතර, රාජතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කෙරුණු අතර,  එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ සංවර්ධනයට  ජපානයෙන් ලැබුණු දායකත්වය ඉමහත්. දශක කිහිපයක්  පුරා ශ්‍රී ලංකාවට විදෙස් ආධාර ලබා දුන් රටවල් අතර, මුල් තැනට පසු වූයේ ජපානයයි. එම සංවර්ධන ව්‍යාපෘති අතර, ශ්‍රී ජයවර්ධනපුර ‍රෝහල, පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, පේරාදෙනිය ශික්‍ෂණ රෝහල, වරාය හා ගුවන්තොටුපොළ නවීකරණ ව්‍යාපෘති ද  වනවා. 

           

    Latest News