රෝහල්වල නැති ඖෂධ ගැන, ඇමති දිනපතා වාර්තාවක් ඉල්ලයි

ඔක් 26, 2022

    රට තුළ පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනිකව සාකච්ඡා කිරීම සඳහා වන විශේෂ කමිටුව දිනපතා රැස්වීමට තීරණය කර තිබෙනවා.

    අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී අදාළ කමිටුව රැස්විය යුතු බවට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. 

    රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සාකච්ඡාව සඳහා එක්ව සිටියා.

    වෛද්‍ය සැපයුම් අංශය තුළ අදාළ ආයතන මෙන්ම, රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනයන්හි පවතින ඖෂධ සම්බන්ධයෙන් දෛනික වාර්තාවක් ලබා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය කෙරුණා.

    ඉදිරි සති කිහිපය තුළ සෑම දිනකම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වීමට නියමිතයි. එහිදී රට තුළ පවතින ඖෂධ හා වෛද්‍ය උපකරණයන්හි අඩු වැඩි වීම් පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති. 

    ඖෂධ ලබා ගැනීම සඳහා ඉන්දීය ණය සහනාධාර සහ ආසියානු ආයෝජන බැංකුව මෙන්ම, අනෙකුත් ක්‍ෂේත්‍ර කෙරෙහි ඉහළ අවධානයක් යොමු කර ඒ පිළිබඳව අන් කවරදාටත් වඩා කැපවී ක්‍රියා කළ යුතු බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

    ජීවිතාරක්ෂක ඖෂධ, අත්‍යවශ්‍ය ඖෂධ, අත්‍යවශ්‍ය නොවන ඖෂධයන්හි අඩු වැඩි වීම් සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් ලබා දෙන ලෙසත්, අමාත්‍යවරයා උපදෙස් දුන්නා. සෑම විටම ඉදිරි කාර්තු දෙක සඳහා අවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන ලෙසයි, අදාළ නිලධාරීන්ට අමාත්‍යවරයා කියා සිටියේ.

    Last modified on බදාදා, 26 ඔක්තෝබර් 2022 09:24

    Latest News