තලවකැලේ-පුඩළුඔය මාර්ගයට පස් කන්දකින් බාධා

ඔක් 26, 2022

    තලවකැලේ-පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.

    ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාම ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තලවකැලේ සිට පුඩළුඔය සහ කොත්මලේ ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් එම ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු (25) දින පස්වරුවේ සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස තලවකැලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    ඉහල කොත්මලේ ජලාශයට ඉහලින් හොලිරුඩ් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට (25) දින පස්වරු 5.30 ට පමණ පස් කන්ද කඩා වැටුණු බවයි තලවකැලේ පොලිසිය කියා සිටියේ.

    පස් කන්ද කඩා වැටුණු ස්ථානයට යාබදවම පිහිටි ඉහල කොත්මලේ ජලාශයට ඉහලින් පිහිටි නිවසක් මතටද පසුගිය දා පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසේ ඉදිරිපස කොටසට දැඩි අලාභ හානි සිදු වි ඇත.

    ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය ඇණ හිටිම නිසා තලවකැලේ හොලිරුඩ් ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් දුම්රිය මාර්ගය දිගේ තලවකැලේ නගරයට පිවිසිමට සිදු වි ඇත.
    ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරිම සදහා නුවරඑලිය සහ නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය වෙත දැනුම් දි ඇති බවද තලවකැලේ පොලිසිය පැවසිය.

    විකල්ප මාර්ග වශයෙන් තලවකැලේ රත්නිල්ලකැලේ ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගය හරහා ගොස් හොලිරුඩ් තේ කර්මාන්ත ශාලාව අසලට පිවිස රථ වාහන ධාවනය කළ හැකි බව තලවකැලේ පොලිසිය පැවසිය.

    Latest News