ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදුවූ පෝයක් ලෙස නිකිණි පෝය හැඳින්විය හැක.
- ඇසළ පොහොය දිනයේ පෙරවස් විසීමට නොහැකි වූ භික්ෂූන් වසන්සේලා වෙතොත් උන්වහන්සේලා මෙම නිකිණි පොහොය දිනයේ වස් අධිෂ්ඨාන කර පසුවස් සමාදන් විය යුතුයි. වස් විසූ භික්ෂුන් වහන්සේ නමක් විහාර සීමාවෙන් පිටතට යාම ඇවතක් වුවත් අවශ්‍යතාවයක් ඇති අවස්ථාවන්හිදි දින හතක් දක්වා පිටත වැඩිය හැකි ලෙසින් බුදුරජාණන් වහන්සේ විසින් සත්තාහකරණය අනුදැන වදාළේ ද මෙම නිකිණි පොහෝ දිනෙකයි.
- ධර්ම භාණ්ඩාගාරික තනතුර දැරූ ආනන්ද තෙරුන් වහන්සේ අප්‍රමාන වීර්යයෙන් කෙලෙසුන් නසා රහත් භාවයට පත් වුයේ ද නිකිණි පුර පසළොස්වක දිනෙකය.
- මගධ රාජ්‍යයේ අජාසත් රජුගේ පුර්ණ අනුග්‍රහය සහිතව රජගහ නුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්නි ගල් ගුහා ද්වාරය අසල ඉදි වුන මණ්ඩපයක දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමද සිදුවූයේද නිකිණි පොහෝ දිනෙකයි.
- බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම ද නිකිණි පොහොය දිනෙක සිදුවිය.
- රාහුල තෙරුන් උතුම්වූ අර්හත් මාර්ග ඵල ප්රත්යක්ෂ කරන ලද්දේද නිකිණි පෝදා දිනක බව සඳහන්වී ඇත.
- මෙම පොහොය දරමිටි පොහොය ලෙසද හැඳින්වේ. ඒ රජරට වල් බිහි වූ සමයේ ධනයෙන් බලයෙන් පිරිහුණු නමුත් ශ්‍රද්ධාවෙන් නොපිරිහුණු සිංහල ගැමි ජනතාව තමන් දිවි දෙවෙනි කොට ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැක ගැනීමට කටයුතු කළහ. වනයෙන් වැසුණු බෝධීන් වහන්සේ සහිත උඩ මලුව වට කොට පහත ගිනි මැල දල්වාගෙන වන සතුන් පලවා හරිමින් නිදි වර්ජිතව ඒ ජනතාව ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සැලකූ ඒ ඇසතු රුක සතුරන්ගෙන් රැක ගත්හ. ඊට අමතරව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික පෙරහැර මංගල්‍ය ඇසළ පුන් පෝ දිනත් නිකිණි පුන් පෝ දිනත් අතර මාසය තුළ පවත්වනු ලැබේ.