විත්තිකරුවකුගේ ඇපකරුවන්ට ලක්ෂ අනුවක් දඩ

ඔක් 22, 2024
    හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් රුපියල් ලක්ෂ සීයකට අධික වත්කම් හා දේපළ උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා මේ වන විට අධිකරණය මගහැර සිටින රජිත අසන්ත නමැති විත්තිකරුගේ ඇපකරුවන් තුන්දෙනාට කොළඹ මහාධිකරණය විසින් රුපියල් ලක්ෂ 90 ක දඩයක් නියම කළා.
    කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
    අදාල විත්තිකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රනාන්දු සහ මොහොමඩ් ඉක්‍රම් යන පුද්ගලයින් තුන්දෙනා මෙම විත්තිකරුගේ ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී තිබුණා.
    ඒ වෙනුවෙන් ඔවුන් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් කර තිබූ බවත් නඩුවේ විභාගයේදී අනාවරණය වුණා.
    එහෙත් විත්තිකරු අධිකරණය මගහැර පළ ගොස් සිටීම හේතුවෙන් එම ඇපකරුවන් තුන්දෙනා අධිකරණය හමුවට කැඳවනු ලැබුවා.
    එහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් ඇපකරුවකු වශයෙන් ඉදිරිපත් වන්නේ නම් එම විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල ඇපකරු නීතියෙන් බැඳී සිටින බවයි..
    මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඇපකරුවන් සම්බන්ධයෙන් පවතින නීතිමය විධිවිධානයන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා
    ඒ අනුව මෙම නඩුවේ විත්තිකරු ඉදිරිපත් කිරීමට ඔහුගේ ඇපකරුවන් අපොහොසත් වීම නිසා එක් එක් ඇපකරුට රුපියල් ලක්ෂ 30 බැගින් රුපියල් ලක්ෂ 90ක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News