“රාවණා 01“ චන්ද්‍රිකාව උඩුගුවනට

අප්‍රේ 18, 2019

    ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “රාවණා 01“ චන්ද්‍රිකාව අද උඩුගුවනට යැවුණා.

    සිග්නීස් 01, අභ්‍යවකාශ යානය ආධාරයෙන් චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්. ප්‍රමාණයෙන් කුඩා ඝනක චන්ද්‍රිකාවක් වන “රාවණා 01“ ඝන සෙන්ටිමීටර දහසක පරිමාවකින් යුක්තවේ. එය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසින්. විදුලි හා විද්්‍යුත් ඉංජිනේරු උපාධිධාරීන් වන ඔවුන්ට නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සහය ලැබී තිබේ.

    “රාවණා 01“ චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත්තේ, ජපානයේ කියුෂු තාක්‍ෂණ ආයතනයේ සහයෙන්. කිලෝ ග්‍රෑම් 1.1 බරින් යුත් නැනෝ චන්ද්‍රිකාව, අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීමට යොදා ගැනුණේ, සිග්නීස් 01 භාණ්ඩ ප්‍රවාහන යානයයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 2.16ට ගුවන් ගත කෙරුණු යානය, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවන්නේ ලබන 20 වැනිදා.

    චන්ද්‍රිකාව කක්‍ෂගත කෙරෙන්නේ පෘථිවියට කිලෝමීටර 400ක් දුරින්. තත්පරයට කිලෝමීටර 7.6ක වේගයෙන් භ්‍රමණය වන චන්ද්‍රිකාව, දිනකට 15 වතාවක් පෘථිවිය වටා ගමන් කිරීමට නියමිතවේ. ශ්‍රී ලංකාව සහ අවට කලාපීය රටවල ඡායාරූප ලබාගැනීම හා ලෝරා මොඩියුල් නමැති නව දත්ත බාගත කිරීමේ මෘදුකාංගය අත්හදා බැලීම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය දෙකක්. පෘථිවි චුම්භක ක්‍ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම සහ චන්ද්‍රිකා සඳහා දෘඩාංග වෙනුවට මෘදුකාංග අත්හදු බැලීම “රාවණා 01“ මගින් අපේක්‍ෂිත තවත් කාර්යයක් වේ. චන්ද්‍රිකාවේ ආයු කාලය වසර එකහමාරත්-පහත් අතර වන බව, එහි නිර්මාපකයින් පවසයි.

    Latest News