ශ්රී ලංකාවට පිටුවහල් කිරීම, වළක්වාලන ලෙස ඉල්ලා ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ගොනු කළ අභියාචනය, ඩුබායි අධිකරණය අද සලකා බලා තිබේ. මේ පිළිබඳව තීන්දුව මැයි 2 වැනිදා ලබාදෙන බව, ඩුබායිහි අධිකරණය සඳහන් කර ඇත.
මේ අතර, මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව පිටුවහල් කෙරුණු තවත් දෙදෙනෙකු අද අළුයම යූ.එල්. 226 ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය. පියල් පුෂ්පකුමාර හා මොහොමඩ් අෆ්රීඩ් ඉන් හාම් යන දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්.
මීට පෙර මෙරටට පිටුවහල් කළ 6 දෙනා අතර සිටි ගයාන් බුද්ධිම පෙරේරා ඊයේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේය. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. කටුනායක ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සෙසු 5 දෙනා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණයට අවසර ලබාදී තිබේ.
ඊයේ අළුයම අත්අඩංගුවට ගැණුනු 6 දෙනාගෙන් අයෙකුවන මධූෂ්ගේ ඥාති සොහොයුරෙකු ලෙස සැලකෙන නිලාන් රොමේෂ් සමරසිංහ නැමැත්තා අද මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.