අනුරාධපුර නගරාධිපති ඇතුලට; අදත් ඇප ප්‍රතික්ෂේපයි

ජූලි 08, 2019

    රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා හට ඇප ලබාදීම තෙවැනි වරටත් ප්‍රතික්ෂේපකළ තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානී මහත්මිය සැකකරුවන් මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08ද) නියෝග කළාය.

    පොලිසිය මගින් ඉදිරිපත්කල බී වාර්ථාවට අනූව නඩුවේ සැකකරුවන් වන ග්‍රාම නිලධාරී ඩී.එල්.ජගත් චන්ද්‍රසිරි, රාජංගනය එකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි, රාජංගණය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් උපසභාපති එම්.සමන් නිල්මිණි වීරසිංහ, ලංකා ගමනා ගමන මණ්ඩල රියදුරු රංජිත්ප්‍රේමලාල්, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.එම්.ඉන්දික උදයකුමාර තෙන්නකෝන්, උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස හා දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් (උක්කුවා) යන සැකකරුවන් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය වැඩිදුර වාර්ථාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ නීතිපතිවරයා දෙපාර්තුමේන්තුව මගින් නීතිපති උපදෙස් වාර්ථාව මෙතෙක් ලබාදී නැතිබවත් එම වාර්ථාව කඩිනමින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

    සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥවරුන් කියා සිටියේ එම වාර්තාවන් කඩිනමින් ලබාගැනීමට පොලිසියට නියෝග කරන ලෙසත් සිදුකරන පරික්ෂණ කඩිනම් කිරීමට නියෝග කරන ලෙසයි.

    දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා මේ මස 22 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයාට හා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාසික රැස්වීම සඳහා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි රෝහන ගලප්පත්ති මහතාට නියෝග කළාය.

    ජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපත අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතර කර තිබේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 16:30

    Latest News