සුදු වෑන් සංස්කෘතිය නැතිව ප්‍රජාතන්ත්‍රවාදය රැක අලූත් රටක් නිර්මාණය කළා.... අගමැති රනිල්

අගෝ 08, 2019

    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කොට රට ඉදිරියට ගෙන යාමට අලූත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදේ.

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී එක්සත්ව එකමුතුව එක ගමනක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමේ අරමුණින් නව සන්ධානය ගොඩනගන බවත් ඔහු පැවසීය. වත්මන් ආණ්ඩුව සුදු වෑන් සංස්කෘතිය නැති කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර අලූත් රටක් නිර්මාණය කිරීමට පියවර ගත් බවත් ඒ ගමන තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යාම සඳහා මේ මස අවසන් වීමට පෙර නව සන්ධානය ගොඩ නගන බවත් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ අද (08) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති දෑ අභිමානි උපහාර උළෙලට එක්වෙමිනි.

    නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් කටයුතු කළ ඉදිකිරීම් සමාගම් සහ එහි සේවකයන් ඇගයීම සඳහා මෙම උත්සවය පැවති අතර එහිදී මෙම ව්‍යාපෘති අතරින් හොඳම ව්‍යාපෘති තුනට සම්මාන පිරිනැමීම ද අග්‍රාමාත්‍යතුමා විසින් සිදු කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා........

    හිසරදයට කොට්ට මාරු කිරීම පිළියමක් නොවෙයි. අපි අලූතින් සිතමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවුනොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය කඩා වැටීමට ලක්වෙනවා. සාම්ප්‍රදායික දේශපාලනයෙක් ඔබ්බට ගොස් දේශපාලන පක්ෂ හා සියළු බලවේග සමග සන්ධානගත වී නව අදහස් සමඟ රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. නව සන්ධානය බිහි කිරීම සඳහා මේ වන විටත් අපි සාකච්ඡා අරම්භ කර තිබෙනවා. එක්සත්ව එකමුතුව රට ඉදිරියට ගෙන යාමට හැකි එම සන්ධානය මේ මස අවසන් වීමට පෙර අපි ගොඩනගනවා.

    මෙහිදි අදහස් දැක්වූ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා එදා කොළඹ පැල්පත්වාසී ජනතාව ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් එළියට ඇද දැමීමට එවකට පැවති පාලනය ක්‍රියා කළත් වත්මන් ආණ්ඩුව ඒ සියළු ජනතාවට ස්ථිර නිවාස තනා දීමට පියවර ගෙන තිබෙන බව පැවසීය. එදා පැල්පත්වල ජීවත්වූ කොළඹ ජනතාව අද වෙන විට පියවරෙන් පියවර ඉදිරියට පැමිණ ඔවුන්ගේ ජීවන තත්වය සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරදී තිබෙන බවද චම්පික රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සුමේධ රත්නායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිව සිටියහ.

    Latest News