ශ්‍රීලනිප සංවත්සරයේ දී මතය ඉදිරිපත් කරනවා; මහින්ද අමරවීර

අගෝ 08, 2019

    පක්‍ෂ සංවත්සරයේ දී ඉදිරි මැතිවරණ පිළිබඳවත්, පක්‍ෂයේ අනාගතය පිළිබඳවත්, මතය ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.

    පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරිණ. එහිදී අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා....

    “සැප්තැම්බර් 03 වැනිදා තමයි අපේ සංවත්සර දිනය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවත්වන්නේ. ඒ සංවත්සරය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. ගම් මට්ටමින් අපේ ප්‍රධාන ක්‍රියාකාරීන් පිරිස මේ සඳහා සහභාගි කරගන්න බලාපොරොත්තු වෙනවා. එදිනට අපි පසුගිය කාලයේ ඇතිකරගත්ත ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ අලුත් තනතුරු ඒ සියලු දෙනත් එක්ක එකතුවෙමින් තමයි සංවත්සරය පවත්වන්නේ. ඉදිරියේදී පවතින සියලුම මැතිවරණ පිළිබඳවත්, පක්‍ෂයේ ඉදිරි අනාගතය පිළිබඳවත් අපේ පක්‍ෂයේ මතය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගුණාත්මක සහ ඉහළ තත්වයේ ඔබට දකින්න ලැබෙන හොඳම මට්ටමේ සංවත්සරයක් පවත්වන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ“ යැයි මහින්ද අමරවීර මහතා පැවසීය.

    මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා....

    “අනාගතේ ජනාධිපතිවරයා කවුද ඒ දිනන අපේක්‍ෂකයා තෝරන්න වෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට. පසුගිය දවස් ටිකේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, පොහොට්ටුවත් සාකච්ජා වට කිහිපයක් පැවැත්වූවා. අපි අතර යම් එකඟතාවයක් ඇති වෙමින් යනවා. නමුත් අපි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙන කිසිම පක්‍ෂයකට දියකරලා හරින්න ඉඩ තියෙන විධියට මේ එකඟතාවයන් හැදෙන්නේ නැහැ කියන එක අපි ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින්ට අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ කම තියෙනවා. කිසිම පක්‍ෂයක් එක්ක සම්බන්ධ වෙනවට වඩා පුළුල් සන්ධානයක් හදලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ සන්ධානයේ කොටස්කරුවෙකු වෙන එක තමයි අපි පක්‍ෂයක් විධියට බලාපොරොත්තු වෙන්නේ “යැයි දුමින්ද දිසානායක මහතා පැවසීය.

    Latest News