නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක ගින්නක්

අගෝ 09, 2019

    හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් සංචාරක බංගලාව ඊයේ (08) පස්වරු 6.30 ට පමණ ගින්නක් හටගෙන ඇති බව වාර්තාවේ.

    දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ගිය බව පොලිසිය සඳහන් කළේය. සංචාරක බංගලාව ගින්න හට ගන්නා අවස්තාවේ එහි කිසිදු අයෙකු නොසිටි අතර ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

    පැතිර යමින් පැවති ගින්න පාලනය කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය, නොර්වුඩ් පොලිසිය සහ ප්‍රදේශවාසින් එකතුව දැඩි උත්සහයකින් පසු ගින්න පාලනය කිරිමට සමත් වී ඇත.

    සංචාරක බංගලාවේ බැඳ තිබූ බඹර කුඩුවක් පුළුස්සා විනාශ කිරිමට කිසියම් පිරිසක් උත්සහ දරා ඇති බවට ප්‍රදේශවාසීන් සැකකරන බව අප වාර්තාකරු සඳහන් කරයි.

    එවැනි බඹර කුඩුවක් පුළුස්සා විනාශ කිරිමට යාමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට ප්‍රදේශවාසින් පැවසුවද එවැනි පැමිණිල්ක් හෝ තොරතුරක් තමන් වෙත ලැබි නොමැති බවයි ගින්න පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසන්නේ.

    අධිරාජ්‍යයවාදින් විසින් එවකට ඉදි කරන ලද මෙම සංචාරක බංගලාව වසර 100 කට වඩා ඉපැරණි අතර එම සංචාරක බංගලාව වර්තමානයේ රාජ්‍ය බැංකුව අයත් වේ. ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත. ගින්න පිලිබදව නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

    Latest News