අර්ජුන් මහේන්ද්‍රන්ට ස්තිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරෙන්තු

අගෝ 09, 2019

    මහබැංකු බැඳුම්කර වංචා නඩුවට අදාළව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කර ඇත.

    මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) වරෙන්තු නිකුත් කර තිබේ.

    සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්ප ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

    එම වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත්තේ.

    ඉකුත් නඩු දිනයේ අධිකරණය හමුවේ ඉල්ලීමක් කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් අධිකරණය මගහැර විදේශයකට පළාගොස් සිටින බැවින් ඔහු හිතාමතාම අධිකරණය මගහැර සිටින බවට පෙනී යන හෙයින් ද ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා මුල් අවස්ථාවේදීම වරෙන්තුවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

    ඒ අනුව ල් අවස්ථාවේදීම අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා වරෙන්තුවක් නිකුත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

    එමෙන්ම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කරනු ලැබ සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාද මේ වන විට අධිකරණය මගහැර සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු වෙනුවෙන් සිතාසියක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉකුත්දා ඉල්ලීමක් කර තිබේ.

    ඒ අනුව එම විත්තිකරු සඳහා සිතාසියක් නිකුත් කර තිබෙන අධිකරණය ඒ පිළිබඳව වාර්තාවක් දෙසැම්බර් මස 4 වනදා කැඳවන ලෙස නියම කර ඇත.

    මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, අධ්‍යක්ෂවරුන් වු අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, පුශ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතු රාජා සුරේන්ද්‍රන්, අජහාන් ගාර්දිය පුන්චිහේවා යන අය නම් කර තිබේ.

    2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යාපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබලදීම තුළින් පොදු දේපළ පනතේ 5 (1) වගන්තිය යටතේ වරදක් සිදු කිරීම නමැති චෝදනාව නීතිපතිවරයා විසින් මෙම නඩුවේ සියලුම විත්තිකරුවන්ට එල්ල කොට තිබේ.

    එම වෙන්දේසියේ දී රුපියල් බිලියන 10058 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර බැහැර කිරීමේ දී සාපරාධී විශ්වාසය කඩ කිරීම තුළින් රජයට රුපියල් මිලියන 688,762,100/- ක පාඩුවක් සිදුකළේ යැයි කියමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි යන අයට විරුද්ධව තවත් චෝදනාවක් එල්ල කොට ඇත.

    ඊට අමතරව අභ්‍යන්තර තොරතුරු භාවිතා කරමින් අදාල වෙන්දේසියේ දී ලංසු තැබීම සම්බන්ධයෙන් මෙම නඩුවේ තුන්වන විත්තිකරුවන් ලෙස නම් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙත ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනතේ 56 වන වගන්තිය යටතේ තවත් චෝදනාවක් ඉදිරිපත් කර තිබේ.

    Latest News