වව්නියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා විශේෂ පියවර රැසක් නුදුරේදී ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවය දී පැවසීය. අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජය ප්‍රමුඛත්වය ලබාදුන් බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එය වත්මන් පරම්පරාව වෙනුවෙන් සිදු කළ ආයෝජනයක් බව ද පෙන්වාදුන්නේය. රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වැඩකටයුතුවලට ලබන සතියේ මුලපිරෙන බව ද අගමැතිවරයා මෙහිදී හෙළි කළේය.
උත්සව සභාව අමතමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරතන්න මහතා පැවසූයේ නිදහස් සෞඛ්‍ය සේවය නිසියාකාරයෙන් අරුත් ගැන්වූණේ මේ රජය යටතේ බවය. පිළිකා හා හෘද ආදී රෝගීන්ට තිබුණු ආර්ථික අපහසුකම් මකාලමින් ඒ සියලූ කටයුතු නොමිලේ සිදු කර දීම සඳහා රජය විසින් මුදල් වෙන්කර ඇති බව ද සෞඛ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සිවමෝහන්, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඊවා වැන් වුසර්මි (Eva van Woersem), වව්නියා දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය නන්ද කුමාරන්, හිටපු උතුරු පළාත් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය සත්‍යලිංගම්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගීව සිටියහ.