ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ය. ඊයේ (19) බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති “ජාතික සම්මාන උලෙළ 2019“ හි දී ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්රදානය කරනු ලැබු “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්“ ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.
ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් අකාෂි මහතා දැරූ නොමඳ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිතුමා ඔහුට මෙහිදී ස්තූතිවන්ත විය. එමෙන්ම ඔහුට ලෝක සාමය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැපවීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය සහ දීර්ඝායු ලැබේවා යැයි සුභ පැතුම් එක් කළ ජනාධිපතිතුමා පැවසුවේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට එතුමා කළ කටයුතු විශේෂයෙන් අගය කරන බවයි. එමෙන්ම, අකාෂි මහතා ද ජනාධිපතිතුමාටත් ශ්‍රී ලාංකේය මුළු මහත් ජනතාවටත් තමන්ට ලබා දුන් ගෞරවය පිළිබඳ ස්තූතිය පළ කළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජපානය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානතා ඇති බවත් බුද්ධාගම දෙරට අතර විශේෂ මිත්‍රත්වය තහවුරු කරන බවත්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජපන් තානාපති අකිරා සුගියාමා මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතා ද මෙම හමුවට සහභාගී විය.