සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූර අපේක්‍ෂකත්වයට නිල වශයෙන් පත් කළා; මහ ලේකම්

සැප් 26, 2019

    එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ දැනුම්දීම සඳහා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද (26) සවස විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූර අපේක්‍ෂකත්වයට තෝරාගත් බව නිල වශයෙන් නිවේදනය කළේ පක්‍ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා..

    “බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සහ අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධූරය ආදි අපේ රජය විසින් ආරම්භ කරන ලද ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට අප කැපවී සිටින්නෙමු. ඒ සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් ද සැලකිල්ලට ගන්නෙමු. මේ යෝජනා සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය ඒකමතිකව තීරණය කරනු ලැබුවා. අපි සතුටින් කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්‍ෂයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා, කෘත්‍යාධිකාරි මණ්ඩලයෙනුත්, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙනුත් අද පත් කරනු ලැබුවා. 

    ඒ වගේම අග්‍රාමාත්‍යවරයා සහ පක්‍ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කරනු ලැබුවා. මහලේකම්වරයා වශයෙන් සතුටට පත්වෙනවා අපිට පක්‍ෂය කැඩෙන්නේ නැතුව, පක්‍ෂයේ සියලු දෙනාම ආරක්ෂා කරමින් අද හොඳ වැදගත් තීරණයක් අරගෙන මේ කටයුත්ත කරන්න ලැබීම පිළිබඳව. රනිල් වික්‍රමසිංහ මැතිතුමට කෘතවේදිත්වය පළ කරන්න ඕනේ එතුමා හැමදාමත් කරා වගේ එක්සත් ජාතික පක්‍ෂය ආරක්ෂා කරමින්, අපේ පක්ෂ යේ නායකයෝ ආරක්ෂා කරමින් රටේ ඉදිරි ගමන ගෙනියන්න ඉතා වැදගත් තීන්දුවක් අද කෘත්‍යාධිකාරි මණ්ඩලය ගැනිම පිළිබඳවත් ඒ වගේම යෝජනා සම්මත කිරිම පිළිබඳව මම එතුමාටත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයටත්, මන්ත්‍රී කණ්ඩායමටත් අපේ ස්තුතිය පක්ෂය වෙනුවෙන් පුද කරන්න ඕනේ“ යැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අමාත්‍ය කබීර් හෂීම්....

    “එක්සත් ජාතික පක්‍ෂය පූර්වාදර්ශයක් හැටියට දීලා තියෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය මහගෙදරින්ම ආරම්භ කරන්න. එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනතාව ඉල්ලපු නායකයව ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන් පත් කරන්න අපි සමගියෙන්, එකතු වෙලා තීන්දුවක් ගත්තා. ඒ ක තමයි මේ රටේ පලමුවැනි ජයග්‍රහණය. අදත් අපේ අගමැතිතුමා ජනතාව බලාපොරොත්තුව අපේ අපේක්‍ෂකයා කරන්නට ඒ නායකත්වය ලබා දුන්නා. මේක අපිට මීට වඩා සතුටු වෙන්න පුලුවන් කමක් නැහැ“ යැයි කබීර් හෂිම් මහතා පැවසීය.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මේ දැවැන්ත ජාතික ව්‍යායාමයට සියලුම දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියලා මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒකීය ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදීම, මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියන්, ජනාධිපති ක්‍රමය පිළිබඳව ඒ ආරම්භ කරපු වැඩපිළිවෙළ අපි සියලුම පාර්ශ්වයන්ගේ සහයෝගය අනුමැතිය සහිතව ඉදිරියට ක්‍රියාත්මක කරන්න සැදී පැහැදී සිටිනවා. මම විශ්වාස කරන ප්‍රතිපත්තීන් පිළිගන්නා වූ සියලුම දේශපාලන පක්‍ෂවල අපේ පුළුල් සන්ධානය තුළ ඉඩක් තියෙනවා. පක්ෂය කුමක් වුවත් සම ප්‍රතිපත්තීන් අනුගමනය කරන හැම පාර්ශ්වයකටම අපිත් සමඟ එකතුවීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය

    Latest News